මනෝලිංගික අවධි
පෞරුෂ සංවර්ධනය සම්බන්ධයෙන් ඉදිරිපත්වන මනෝලිංගික අවධි
පුද්ගලයාගේ පෞරුෂ සංවර්ධනය අවධි කිහිපයක් ඔස්සේ සිදුවන බව ෆ්‍රොයිඩ් පවසා ඇත.ඒවා හුදෙක්, මනෝලිංගික ආශයන්ගේ වර්ධනයක් වශයෙන් විග්‍රහ කරයි.ඔහු පවසන ආකාරයට ඕනෑම මිනිසෙකු සතුව උපතේ පටන් ක්‍රියාත්මක වන "ලිබිඩෝ"නමින් හැදින්වෙන ශක්ති විශේෂයක් පවතින බව පවසයි.ඔහු මෙය "ලිංගික රුචිය" ලෙසද හදුන්වා ඇත.මෙය අවධි 5ක් යටතේ සංවර්ධනය වේ.එනම්,
- මුඛීය අවධිය(The Oral Stage)
- පායුක අවධිය(The Anal Stage)
- ලිංගරූපී අවධිය(The Phallic Stage)
- සැඟවුණු අවධිය (The Latent Stage)
- ප්‍රජනන අවධිය (The Genital Stage)
ෆ්‍රොයිඩ් විසින් මේවා "මදජනක කලාප "ලෙසද හදුන්වා ඇත.සිග්මන් ෆ්‍රොයිඩ් ළමා සංවර්ධනයේ අනාවැකි පලකල හැකි මුල් ළමාවියේ අවධි කිහිපයක් නිරීක්ෂණය කලේය.ළමයෙකුගේ චර්‍යාව ඔහුගේ හෝ ඇයගේ එක් එක් කොටස් දෙසට දිශානත වී ඇති බව පැවසීය.
උදා:- මවු කිරි දීමේදී මුඛය
වැසිකිළි පුහුණුවේදී ගුදය
ආදී වශයෙනි.
ඔහු පවසන ලෙසට වැඩිහිටියන්ගේ නියුරෝෂීය අක්‍රමතා ඇතිවනුයේ ළමාවියෙහි ලිංගිකත්වය හේතුවෙනි.ඒ අනුව ඉහත මනෝලිංගික අවධි කොටස් පහ බෙදා දක්වා ඇත.
1. මුඛීය අවධිය
මනෝලිංගික සංවර්ධනයේ පළමු අවධිය මුඛීය අවධියි.උපතින් පසු පළමු වසර ගෙවෙන තෙක් ළදරුවාගේ මනෝලිංගික ආශයන් ක්‍රියාත්මක වනුයේ මුඛ්‍ය කේන්ද්‍ර කරගනිමිනි.අත් පා ආදිය එපමණ ශක්තිමත් නොවන නිසා දරුවා බාහිර සමාජයට සම්බන්ධ කරන්නාවූ එකම මාර්ගය මුඛය වේ.ළදරුවා මුඛය උපයෝගි කොට ගනිමින් පරිසරය ගවේෂණය කිරීමට පටන් ගනි.
උදා:- මවුකිරි බීමේ පුරුද්දට අනුව යම් යම් දෑ මුඛය තුළට දැමීමට පටන් ගනී.විවිධ දෑ මුඛයට ඇතුල් කිරීමෙන් සැපීමෙන්, සුඛවේදනය ලබයි.මවගේ තන පුඩුව, කිරි බෝතලය වැනි ප්‍රණීත දෑ පිළිගන්නා අතර අමිහිරි දෑ මුඛය තුළට ගත්විට ප්‍රතික්ෂේප කරයි.
මෙම අවධියේදී දරුවාට මව,පියා හෝ උපස්තායිකාවක මත යැපීමට සිදුවේ.ඔවුනට ඉතා පහසුවෙන් දරුවාගේ චර්‍යාව පාලනය කළ හැක.මේ හේතුව නිසාම පළමු වසරේම හික්මීම සම්බන්ධයෙන් යම්කිසි පුහුණුවක් ලබයි. එසේම දරුවා නොසලකාහැරීමෙන්, ලමයා තුල අසාමාන්‍ය චර්‍යා ඇතිවිය හැකිබව ෆ්‍රොයිඩ් පවසයි.වැඩිහිටිවියේ සියලු ආක්‍රමණකාරී ක්‍රියාවන්හි මූලාරම්භය මෙම මුල් කිරිදත්වල සැපීමේ ක්‍රියාවලියයි.ආක්‍රමණකාරි ආශයන් තෘප්ත කිරීම ආරම්භ කරනුයේ මෙම අවධියේය.
2. පායුක අවධිය
මනෝලිංගික සංවර්ධන න්‍යායෙහි දෙවන අවධිය මෙම අවධිය වන්නේ පායුක හෙවත් ගුද අවධියයි.පළමු වසර අවසන් වීමෙන් පසු ශරීරයේ ප්‍රධාන මනෝලිංගික කලාපය පායුකය හෙවත් ගුදය වෙතට සංක්‍රමණය වේ.එතැන් පටන් තුන්වන අවුරුද්ද දක්වා මෙම අවධිය ක්‍රියාත්මක වේ.මෙම අවධියේදී මලපහ කිරීමේ ක්‍රියාවලිය තුළින් සුඛ වේදනයන් ක්‍රියාත්මක වේ.මලපහ කිරීමේදී ගුදයේ සහ මහාඅන්ත්‍රයේ මාංශ පේශි සහ ස්නායු පීඩනයට පත්වේ.මලපහ කිරීමත් සමග එම ආතතිය අවසන් වී සතුටක් දැනේ.වැඩිහිටිවියේදී සිදුවන ආවේග පිටවීම,කෝපය පිටවීම,සහ ආශාවන් පිටවීම ආදියෙහි මූල ස්වරූපය වන්නේ මෙයයි.
මෙම අවධියේ සිදුවන වැදගත් සිදුවීමක් වනුයේ ළමයාට මලපහ කිරීමේ පුහුණුවක් ලැබීමයි.මෙතෙක් කල් නිදහසේ මෙම ක්‍රියාවලිය සිදුකළ ළමයාට මෙම අවධියේදී කිසියම් පුහුණුවකට යටපත් වී මෙම ක්‍රියාවලිය සිදුකිරීමට සිදුවේ.ළමයා ජීවිතයේ ලබන මුල්ම පුහුණුව මෙය වේ.
පායුක අවධියේ මූලික අත්දැකීම වනුයේ වැසිකිළි පුහුණුවයි.ළදරුවෙකු මෙම පුහුණුව අවුරුදු දෙකක් තිස්සේ ලබයි.මෙම අවධියේදී තද්භාවයට තර්ජනයක් වෙමින් සුපර් ඊගෝ වර්ධනය වීම ළමයා තදබල කාංසාවට ලක් කරයි.දෙමාපියන් ලබාදෙන මෙම වැසිකිළි පුහුණුවට ඇතැම්විට ළමයා අකමැතිය.කෙසේවෙතත් දෙමාපියන් ලබාදෙන පුහුණුවට දරුවාට අවනත වීමට සිදුවේ.
පසුකාලීනව පෞරුෂය හැඩගැසීමට මෙම වැසිකිළි පුහුණුවද බලපානු ලැබේ.දෙමාපියනට විරුද්ධ වෙමින්, වැසිකිළි පුහුණුව වර්ජනය කරන ළමයා පසුකාලීනව මුරණ්ඩු,හිතුවක්කාර ගතිලක්ෂණ ඉස්මතු කිරීමක් දක්නට ලැබේ.එසේම මෙම පුහුණුව නිවැරදිව ඉගෙන නොගන්නා ළමයා පසුකාලීනව අපිළිවෙල,අක්‍රමවත් චරිත ලක්ෂණයන්ගෙන් හෙබි අයෙකු විය හැක.මෙම පුහුණුවට දැඩිව යොමුවන ළමයා විනයගරුක පුද්ගලයෙකු බවට පත්වේ.
3.ලිංගරූපී අවධිය
උපතින් පසුව හතර වැනි හා පස් වැනි වසර වලදී මනෝලිංගික ආශයන් ලිංග කලාපය වෙත සංක්‍රමණය වේ.මනෝලිංගික සංවර්ධන අවධීන්හි තෙවන පියවර වේ.මෙම අවදීයේදි ළමුන් තමන්ගේ ලිංගික අවයව ගැන සැලකිලිමත් වීමට පටන් ගනි.වෙනත් ළමයින්ගේ ශරීරයන් පිළිබඳවද සැලකිලිමත් වේ.මෙම අවධියේදී ලිංගික කුතුහලය ඇතිවේ.
එම කුතුහලය තෘප්ත කරගනුයේ නිර්වස්ත්‍රව සිටීමෙනි.එකිනෙකාගේ වෙනස්ක්ම් දැකීමෙනි.පිරිමි ළමයින්ගේ හා ගැහැනු ළමයින්ගේ ලිංගිකමය වෙනස්කම් හදුනගනුයේ මේ කාලයේය.
මේ අවධියේදී පිරිමි ළමයාට ඊඩිපස් සංකීර්ණයත්, ගැහැණු ළමයාට ඉලෙක්ට්‍රා සංකීර්ණයත් ඇතිවේ.ඊඩිපස් සංකිර්ණය යනු පිරිමි ළමයාට පියා කෙරෙහි ඇතිවන ඊර්ෂ්‍යාවත්, මව කෙරෙහි ඇතිවන ඇල්මත් ය.ඉලෙක්ට්‍රා මානසිකත්වය යනු ගැහැණු ළමයාට මව කෙරෙහි ඇතිවන ඊර්ෂ්‍යාවත්, පියා කෙරෙහි ඇතිවන ඇල්මත් ය.
ෆ්‍රොයිඩ් සඳහන් කරනුයේ මෙම මානසික තත්වයන් දෙකම ජයගත යුතු බවයි.නැතිකරගතයුතු බවයි.එසේ නොවුණහොත් එය පසුකාලීන පෞරුෂ සංවර්ධනයට බලපාන බව ෆ්‍රොයිඩ් සදහන් කරයි.
4.සැගවුණු අවධිය
මනෝලිංගික සංවර්ධනයේ හතරවන අවධිය වේ.වයස අවු.6සිට මල්වර වීම දක්වා ක්‍රියාත්මක වන්නේ සැගවුණු අවධිය යි.මෙම කාලයේදි පිරිමි ළමයාගේ මෙන්ම ගැහැනු ළමයාගේ මනෝලිංගික ක්‍රියාකාරකම් තාවකාලිකව සැගවී යයි.මෙම අවධිය අවු.12 පමණ වනතෙක් පවතී.
සමාජය විසින් ළමයින්ගේ ලිංගික ක්‍රියාකරකම් තහනම් කරනු ලැබ තිබීම සැගවුණු අවධියක් ඇතිවීමට හේතුව බව ෆ්‍රොයිඩ් පවසයි.කායික හා බුද්ධි වර්ධනය ඇතුලත්ව වැදගත් වෙනස්කම් රාශියක් මෙම අවදියේදී සිදුවේ.
5.ප්‍රජනන අවධිය
මල්වරවියෙන් ආරම්භවී වැඩිහිටි ජීවිතය තුළ ක්‍රියාත්මක වන්නේ මෙම අවධියයි.මනෝලිංගික සංවර්ධනයේ පස්වන අවධිය මෙයයි. මෙම අවධිය අනෙක් අවධීන්ට වඩා වෙනස් ය.
ඔවුන්ගේ ලිංගික ආශයනට ප්‍රජනන ශක්තිය ලැබෙනුයේ මෙම අවධියේය.එනම්, දරුවෙකු බිහිකිරීමේ හා පෝෂණය කිරීම සදහා අවශ්‍ය මානසික හා ශාරීරික ශක්තිය ලැබේ.මේ නිසා ඔවුන් තම ලිංගික ආශයන් තෘප්ත කරගැනිමට ප්‍රථමවරට විරුද්ධ ලිංගිකයන් වෙත යොමුවේ.
පුද්ගලයාගේ දීර්ඝතම මනෝලිංගික අවධිය වන්නේද මෙම අවධියයි.මෙම අවධියේ ඉලක්කය වනුයේ ජීවිතයේ බහුවිධ අංශ අතර තුලනයක් ඇතිකර ගැනීමයි.මෙම අවධියට පත්වනවිට මීට පෙර අවධි සාර්ථකව සංවර්ධනය වී ඇත්නම් පුද්ගලයෙකුට තුලිත පෞරුෂයක් උරුම වේ.
Comments
Post a Comment